ප්‍රථම කරදිය ජලජීවි පර්යේෂණ මධ්‍යස්ථානයට මුල්ගල් තැබේ


කරදිය ජලජිවි පර්යේෂණ මධ්‍යස්ථානය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  විසින් අද ( 22 )  මුල්ගල් තබා එහි ඉදිකිරීම් ආරම්භ කළේය .

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනය ( නාරා )  පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත . 

මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 50 කි .

කරදිය ජලජිවි පර්යේෂණ කටයුතු වලදී මෙවැනි මධ්‍යස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳ පර්යේෂණ වලට විවිධ බාධා එල්ල විය . නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එම සියලු බාධා ඉවත් කරගැනීමට හැකි වනු ඇති බව නාරා ආයතනය සඳහන් කළේය .

අද මුල්ගල් තැබූ නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව කරදිය විසිතුරු මසුන් බෝ කිරීම , මුහුදු කූඩැල්ලන් බෝ කිරීම , ඉස්සන් බෝ කිරීම ,මුහුදු පැලෑටි වගාව හා පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය සියලු  පහසුකම් සැලසෙනු ඇත .

අනතුරුව පැවති රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  මෙලෙස අදහස් දැක්වීය , 

“ මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක් . විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට සියයට තුනක පමණ දායකත්වයක් ලැබෙනවා . නමුත් මෙතෙක් කරදිය විසිතුරු මසුන් අපනයනය කළේ  මුහුදෙන් අල්ලාගෙන . නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමෙන් පසු එහි අභිජනනය කර කරදිය විසිතුරු මසුන් අපනයනය කිරිමේ හැකියාව ලැබෙනවා . මෙය අපේ අපනයන ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කරන්නක් .

නාරා ආයතනය කියන්නේ ධීවර ක්‍ෂේත්‍රයේ   හදවත . මේ හදවත අපි රැකගනිමින් එහි සම්පත් වැඩි කරමින් අදාළ පර්යේෂණ සදහා අවශ්‍ය සහය ලබාදීම රජයක් ලෙස අපේ වගකීම සහ යුතුකම බව වත්මන් රජය නිවැරදිව වටහාගෙන තියෙනවා . නමුත් මෙය තේරුම් නොගත් ඇතැම් පාලකයින් මෙවැනි ආයතන දිහා බැලුවේ නැහැ . මේ නාරා ආයතනය පර්යේෂණ කර සොයාගන්නා තොරතුරු නිවැරදි ලෙස ධීවර ජනතාවට වගේම රටේ සමස්ත  ජනතාවට දැනගැනීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි .

නව සොයාගැනීම් පිළිබඳ  රටවැසියා නිවැරදි ලෙස අවබෝධ කර දීම මගින් මේ කර්මාන්තයේ වේගවත් සංවර්ධනයක් ඇති කළ  හැකියි . ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු දරු දැරියන් සදහා මේ ආයතනයෙන් ලැබෙන සේවය මිල කල නොහැකියි" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

       

 



Recommended Articles