පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතමුන් කරන ප්‍රකාශ සමඟියට බාධාවක්


ත‍්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ කි‍්‍රයාදාමයේ දී  පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප‍්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු  මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ,

අද දවසේ රටට ආදරය කරන සියලූ පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඩ නැගීම නොව, ප‍්‍රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත්වන සියලූ ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා වගකීම් ඉටු කිරීම  සිදු කළ යුතු බවයි.

විවේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේශ සහගත විවේචන සේම තොරතුරු නොදැන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස් දේ බවට පත්වන බවද ජනාධිපතිතුමා පැවසිය.

බහුආගමික රටක් ලෙස කිසිදු ආගමිකයෙකු අපහසුතාවයට පත් නොකළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

කෂිනි හපුආරච්චි

                                                                 

 

 



Recommended Articles