නොරොච්චෝලෙට අවශ්‍ය තරම් ගල් අඟුරු තිබෙනවා


මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇතැයි ලංකා ගල්අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා 2025 සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් ලෙස තිබෙන බවත් වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්තුව යටතේ තවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 840,000 ක් සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිත බවද සමාගම නිවේදනය කරයි.
එසේම ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල් අඟුරු සැපයුම් සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද සමාගම පවසයි.

සෑම වසරකම පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ගල් අඟුරු සැපයුම සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට ඊළඟ වසරේ අප්‍රේල් තෙක් පමණක් සිදු වන බවත් එම නිසා, ඉදිරි ගල් අඟුරු වාරය සඳහා ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිඳු අවදානමක් මේ වන විට නොපවතින බව වගකීමෙන් සහ පැහැදිලිව ප්‍රකාශ කර සිටින බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 



Recommended Articles