නේපාලයේ සිටි තවත් ලාංකික සිසුන් 76 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා පිටත්ව ගිය ද , එයින් සිසුන් 17 දෙනෙකු සූදානම් වී නොසිටීම නිසා , මෙම සිසුන් පිරිස පමණක් රැගෙන මෙම ගුවන් යානය පැමිණ තිබුණි .

මෙම සිසුන් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි අතර , හදිසියේම කොවිඩ් - 19 වසංගත රෝගය පැතිර යාමත් සමග ඔවුන්ට මෙරටට පැමිණීමට නොහැකි වී තිබුණි .

ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානයෙන් අද දින සවස 3.30 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් යානයෙන් බැස ගත් සියලුම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු සියල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .

ඉන්පසුව ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල තුළට පැමිණි මෙම සිසුන්ට කොවිඩ් රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණි .

මෙම සියලු පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව , මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් , විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .



Recommended Articles