නීතිවිරෝධිව මෙරටට ගෙනවිත් තිබු දුම්වැටි තොගයක් විනාශ කෙරේ


නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශන වලින් පසුව අද දින දහවල් 12.00 ට කොළඹ - 14  දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

මෙම දුම්වැටි තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි වරායේ සිට මෝගරල් නැමැති නැවෙන් 2019.08.17 දින ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ලෙස හදුන්වමින් කොළඹ වරායට ගෙනැවිත් තිබුණි .

ටොප් මවුන්ටන් සහ ප්ලැටිනම් සෙවන් නැමැති වර්ග වලට අයත් මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ ව්‍යාජ  සමාගමක් මගින් මෙරටට ආනයනය කර තිබුණි .

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදු කර තිබුණි .

මෙම දුම්වැටි විනාශ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය , රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න යන මහත්වරුන් ඇතුළු රේගු නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ .



Recommended Articles