නීතිය ජනපතිට සහ අගමැතිට ඉහළින් තිබිය යුතුයි


අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04දා)  උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළේය .

උන් වහන්සේ එසේ පැවසූවේ ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානුව වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරවාරයේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණෝ මෙසේ ද පැවසීය.

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා . ඒ සදහා ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද සහභාගී වුනා .

එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි  ඉල්ලීමක්‍ කළා . ඒනිසා රටේ වගකිවයුතු නායකයින් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රගපාලා වැඩක් නැහැ . හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි .

එමෙන්ම ජාතීන් අතර විරසක වීම , ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි .

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිස අද (04දා) උදෑසන  කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර්  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පසු ගිය 22 වැනිදා වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .



Recommended Articles