ථෙරවාදී බෞද්ධ දර්ශනය ආරක්ෂා කරමින් සුරකින මෙරට භික්‍ෂූන් වහන්සේලා 500 නමකට පහසුකම් සැලසිය හැකි රෝහලක් තම නිල කාලය තුළදී ඉදිකොට රජයට භාරදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මුදල් භාවිතා නොකරන බවද දියවඩන නිලමේ අපේක්ෂක පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද බණ්ඩාර උඩුරාවන මහතා කියයි.
මහනුවර රෝයල් මෝල් හෝටලයේදී අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නායක නිලමේ වරයා වැඩිදුරටත් අවධාරණය කරටියේ උත්තරීතර දියවඩන නිලමේ පදවියට පත්වීමෙන් පසු එම තනතුර සඳහා ඇති කිසිදු පහසුකමක් ලබා නොගන්නා බවත් ඒ සඳහා ඇති නිල නිවස පවා රාජකාරී කටයුතුවලට පමණක් භාවිතා කරන බවත්ය.
වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදුකොට ඇති හොඳ වැඩ හොඳයි කියන්නා සේම තනතුරු තානාන්තර සදාකාලික නොවන බවත් ඒවා අත්හැරීමට පුරුදු පුහුණු විය යුතු බවද උඩුරාවණ මහතා පැවසීය.
ජනාධිපතිවරුන් හය දෙනකු යටතේ වසර විස්සක කාලයක් ඒ මහතා එම තනතුර දරා තිබෙන බවත් එනම් චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ පාලන කාලය යටතේ දෑල මහතා එම තනතුර දරා ඇති බවත් දැන් වෙනත් පුද්ගලයෙකු එම ගෞරවනීය පදවිය දැරීමට කාලය පැමිණ ඇති බවද කීය.
දියවඩන නිලමේ ඡන්දය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබෙන ඡන්දදායකයන් මෙරට පළාත් 09 ක දිස්ත්‍රික්ක 16 ක විසිරි සිටින බවත් මේ වනවිට එම ඡන්දදායකයන් හමුවීම ආරම්භ කොට තිබෙන බවද බස්නායක නිලමේ වරයා පැවසීය.
මෙම උත්තරීතර පදවිය කිසිවෙකුත් ආභරණයක් කොට ගත යුතු නොවන බවත් ශාසනයටත් බෞද්ධ ජනතාවටත් සිදුකළ හැකි සේවාව සිදු කරායින් පසුව ඉන් ඉවත්ව යා යුතු බවද ඒ මහතා කීය.
මෙම පදවිය ලබා ගැනීම තුළින් තම අරමුණ වන්නේ ශාසනයට සේවාවක් සිදුකිරීම බවත් එම පදවියෙන් බැබලීමට උත්සාහ නොකරන බවත් පදවිය බැබලවීමට ක්‍රියා කරන බවද ඒ මහතා පැවසීය.
අද මේ වන විට මෙරට සෙන්සල් 13,000 කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඉන් ඇතැම් පන්සල් වලට ගිලන්පස පවා නොමැති තත්ත්වයකට පත්ව තිබෙන බැවින් එම පන්සල් රැක ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මැදිහත් වීමක් සිදුකළ යුතුව තිබෙන බවද උඩුරාවණ මහතා අවධාරණය කළේය. තම නිල කාලය තුළ එම පන්සල් වලට සිදුකළ හැකි උපරිම දේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කීය.