නිරෝධායන නීතින් උල්ලංඝනය කළ වෙළෙදසැල් 3ක් වසා 6ක් නිරෝධායනයට


නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියා කළහ.

තංගල්ල නගරයේ පිහිටි මෙම රෙදිපිළි අලෙවිසැල්වලට පැමිණෙන අයවලුන්ට අත්සේදීම සඳහා ස්ථානයක් වෙන් කර නොතිබූ බව නිලධාරිහු කියති.

තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා ඉකුත් 9 වැනිදා මෙම වෙළෙදසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි. ඔහු පැමිණි දිනයේදීද මෙම වෙළෙදසැල්වල නිරෝධායන නීතින් පිළිනොපැද ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මේ හේතුවෙන් එම වෙළෙදසැල් වසා දැමීමටත් එම වෙළෙදසැල්වල සේවක සේවිකාවන් 5දෙනකු සහ එක් වෙළෙදසැලක හිමිකරුවකු නිරෝධායනය කිරීමටත් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියාකළහ.

අනිෂා මානගේ 



Recommended Articles