ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේදි විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. එසේම මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

