පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වයයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්‍රි , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා, ගරු එම්.ඒ සුමන්තිරන් සහ ගරු සාගර කාරියවසම් යන මහත්වරු මෙම විශේෂ කමිටුව සදහා පත් කළ බවද මහලේකම්වරයා පැවසීය.
දැනට පවතින ස්ථාවර කාරක සභා වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව යන කමිටුවල කාර්යයන්ම මෙම නව ස්ථාවර කාරක සභාවල විෂය පථයට පැවරී ඇත්ද යන්න විශ්ලේශනය කොට සංශෝධන අවශ්‍යනම් ඒසදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුවනු ඇත.
මේ අනුව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වී මෙම නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී එකගත්වය පළ වී ඇත.