ධාර්මිෂ්ඨ සමාජය හදන්න ආපු පක්ෂය අධාර්මිෂ්ඨම රාජ්‍යය බිහි කළා


ආගමික චින්තන විප්ලවයක් ඇති නොකර දේශපාලන අරගල කිරීමෙන් පමණක් රටේ තත්ත්වය වෙනස් කළ නොහැකි යැයි කොළඹ අගරදගුරු රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ . 

උන්වහන්සේ මෙසේ පැවසුවේ දිවුලපිටිය මරදගහමුල සාන්ත සෙබස්තියන් දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කර ආසිරි ගැන්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් පැවැති දේව මෙහෙයේදීය. 

මීසම් සේවක ෆිලික්ස් ශාන්ත පියතුමාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මෙම පිරිසකර කිරීම සිදුකරනු ලැබ ඇත.

"මීට දශක පහකට පමණ පෙර එක්තරා දේශපාලන පක්ෂයක් ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කරනවා යනුවෙන් ප්‍රකාශ කර ඉතිහාසයේ තිබුණු අධර්මිෂ්ඨම රාජ්‍ය බිහිකළා කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ පාලන ක්‍රමය තුළදී නීතිය අවනීතිය බවට පත්වුණා. රටේ සාමය නැති වුණා. මට මහා යුද්ධයක පැටලුණා. ධර්මිෂ්ඨකම, යහපත්කම  දේශපාලන පක්ෂයකට හදන්න බැහැ. ආගමික චින්තන විප්ලවයක් ඇති නොකර දේශපාලන අරගල කිරීමෙන් රටේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. 

දැන් පවතින නායකත්වය රට පිරිසිදු කරමු කියලා clean Sri Lanka කියලා වැඩපිළිවෙළක් ගෙනියනවා. නමුත් බාහිර පිරිසිදුකන් සිදුවුණත් මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය පිරිසිදුකම සකස් කරන්න බැහැ. 

පල්ලි හැදුවට වැඩක් වෙන්නේ නැහැ. ආගම ඇදහුවාට වැඩක් වෙන්නෙ නෑ. ආගමේ තියෙන කරුණු ක්‍රියාත්මක කරන්නේ නැත්නම්. ආගම පිළිපදිනවා නම් අපරාධ වෙන්නෙ නෑ. හොරකම් මිනීමැරුම් දාමරිකකම් වෙන්නේ නෑ. මේවා කරන්නේ මිනිස්සුද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා.  

සමාජ පරිවර්තනයක් සිදුකිරීමට නම් අධ්‍යාත්මික පරිවර්තනයක් සිදුකළ යුතුයි.  ආගමික නායකයින් එකිනෙකාට රණ්ඩු සරුවල් කරගෙන මේ ශ්‍රී ලංකා මාතාව ගොඩනගන්න බැරි බැහැ."

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි 



Recommended Articles