ධනවත් නොවන අය නායකත්වයට ආපුවාම ගැටලු ඇතිවෙනවා


රටේ හෝ පක්ෂයක නාකත්වයට පුද්ගලයන් තෝරා ගැනීමේදී පරම්පරාව හා ධනවත් බව වැනි සාධක සළකා බැලිය යුතු බවත් ධනවත් නොවන අය නායකත්වයට පත්වූ විට විවිධ ගැටලු ඇතිවන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියෝ ප්‍රකාශ කළහ.

රටටත් ජාතියටත් හොඳ නායකත්වයක් ඉදිරියේදි තෝරා ගැනිමට ජනතාවට අවස්ථාව හිමිවන බවත් ඒ සඳහා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු බවත් එම ඉලක්කය වැරදුණහොත්  එය  සිංහල බෞද්ධයාගේ අනාගතය  ගැන අවදානමක් ඇති වන  බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ඊයේ (17දා) මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති, රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමිපාණන් වහනසේ වෙත ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ උත්සව සභාවේ අනුශාසනාවක් සිදු කරමිනි.

“ගිහි පැවදි අපි හැමෝටම අනාගතයේදි නායකයින් තෝරා ගැනිමේ අවස්ථාවක් එනවා. අපිට තිබෙන්නේ ඒ සඳහා අනුශාසනා කිරිමයි. පුද්ගල නායකත්වයක් නොවයි බුදුන් වහන්සේ අපෙක්ෂා කළේ. ප්‍රතිපත්ති නායකත්වයක්.

ඒ නිසා ඔබ සියලු දෙනාම බුද්ධිමත්ව ප්‍රවේශම්ව කල්පනා කරන්න. පුද්ගල නායකයෝ පසුපස හඹා යැමේදි ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අයගේ ප්‍රතිපත්තිය පිළිබඳව නායක්තවය තබාගෙන කටයුතු  කිරිම ඒ සඳහා වැදගත්. අපට භික්ෂූන් වහන්සේලා ලෙස  පුද්ගලයින් නම් කරන්න බැහැ. නමුත් මග පැදිමට පුළුවන්.  

රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන."

රත්තොට රුවන් ධනංජය



Recommended Articles