දේවාලේගම විහාරස්ථාන 02ක් කැඩූ සැකකරුවෙක් අත් අඩංගුවට


දේවාලේගම ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක් බිඳ වී ගෝනී 21 ක්, බුදු පිළිම, අට පිරිකර, පිඟන් කෝප්ප සොරකම් කරගෙන ගොස් සිටි සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය කියයි.

මීට දින කිහිපයකට ඉහතදී දේවාලේගම පොලිස් වසමේ ජීවාන පුරාණ විහාරය, නාරංදෙනිය පුරාණ විහාරස්ථානය බිඳ දේපොළ සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමිවරුන් දේවාලේගම පොලිසියට පැමිණිලි කර තිබුණි.

පැමිණිල්ලට අනුව දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර, දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, පොලිස් සැරයන්වරුන් වන මාරසිංහ (48676), අසෝක (11030), ඉදුනිල් (53757), පොලිස් කකොස්තාපල්වරුන් වන අමරසිංහ (64338), වීරසේකර (82672) යන නිලධාරින් සැකකරු ඊයේ (27දා)  අත් අඩංගුවට ගෙන භාණ්ඩ ද ⁣සොයා ගෙන තිබුණි.

එහිදී පොලිසිය විසින් කිරි ගරුඩ වලින් නිම කරන පිළිම 7 ද, පිත්තල පිළිම 5 ද, පිත්ල කරඩු 4 ද, පිත්තල පහන් 2 ද, මුතු කුඩ 3 ද, අට පිරිකර 3 ද, පිගන් කෝප්ප තොගයක් ද, වී කවර 21 ද සොයාගෙන තිබුණි.

පිළිම වහන්සේලා කරඩු අට පිරිකර මුතු කුඩ පිගන් කෝප්ප කෑගල්ල නගරයේ වෙළදසැල් දෙකකට අලෙවි කර තිබුණු බවත් වී කවර අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. සැකකරු නාරංදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව ඇති පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය පැකට් 4 ක් තිබී සොයාගෙන ඇති අතර සැකකරුට එරෙහිව ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් ඇති බව ද පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගෙන ඇති කරඩු හා පිළිම වහන්සේලා පිළිබඳ පුරා විද්‍යාමක වටිනාකමක් ඇද්ද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ලබා ගැනීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවසීය.

කෑගල්ල චමින්ද ජයලත්



Recommended Articles