දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වහාම අත්හිටුවයි


පාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ට මල්වතු මහා විහාර පාර්ශවය විසින් පරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් මහානායක හිමියන් විසින් පියවර ගෙන තිබේ.

මල්වතු පාර්ශවයේ මහනායකක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ගේ අත්සනින් යුතුව යොමු කොට ඇති ඒ හා සම්බන්ධ ලිපියේ මෙසේ සඳහන් වේ.

මෙරට විවිධ පාර්ශව හා සංවිධාන මෙන්ම වයඹ පළාතේ ගරුතර මහා සංඝරත්නය අප වෙත සිදුකළ පැමිණිලි හා කරුණු දැන්වීම් අනුව ඓතිහාසික පාදෙණිය රජමහා විහාරස්ථාන භූමියේ "සිහිනය" වැඩසටහන 2025/05/17 දින නොපවත්වන ලෙස ගරුතර සානුනායක කාරක සංඝ සභාවේ තීරණය ප්‍රකාරව අප විසින් 2025/04/15 වැනි දිනැතිව ඔය ස්ථවිරයන් වහන්සේ වෙත දන්වා එවන ලදී.

2025/05/14 දිනැතිව පළාතේ නායක ස්ථවිරයන් වහන්සේලා එම  වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවය පළ කරන බවට ඔය ස්ථවිරයන් වහන්සේ විසින් අප වෙත කරුණු දන්වා එවන ලද ලද මුත් එම බොහෝ නායක ස්ථවිරයන් වහන්සේලා අප වෙත දන්වා ඇත්තේ මල්වතු විහාරීය ගරුතර කාරක සංඝ සභාව මගින් එම වැඩසටහන අවලංගු කිරීමට නියම කළ බව  නොදැන එම ලිපිය ලබා දුන් බවත් එම ලිපිය තමන් විසින් ඉවත් කර ගන්නා බවත්ය.

තවද 2025/05/16 දින  බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් තුමන් විසින් ද මෙම වැඩසටහන මගින් සමාජ සංහිඳියාවට බාධා ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා තෙක් එම වැඩසටහන කල් දමන ලෙස ඔය ස්ථවිරයන් වහන්සේ වෙත දන්වා ඇත.

එහෙත් අප ගරුතර සානුනායක කාරක සංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් ඔය ස්ථවිරයන් විසින් 2025/04/17 වැන දින උක්ත වැඩසටහන පාදෙණිය රජමහා විහාරස්ථාන භූමියේදී පැවැත්වීම පැවැත්වීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් 2025/05/18 රැස්වූ අප ගරුතර සහනුනායක කාරක සංඝ සභාවේ දී තීරණය කළ පරිදි අප ගරුතර මහා සංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස චිරාගත ශාසන සම්ප්‍රදායන්ට විරුද්ධව උක්ත වැඩසටහන පැවැත්වීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතරම ඔය ස්ථවිරයන් වහන්සේ වෙත පත්කර ඇති දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිට වූ බව මෙයින් දන්වා සිටීම්හ. යනුවෙන් එම ලිපියේ සඳහන්ය.

 



Recommended Articles