දුම්රිය පරිපාලනය ඉතාමත් අකාර්යක්ෂමයි


මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂම බවත් ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂම වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධකරන කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වීමෙන් අනතුරුව ඊයේ (28) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දුම්රිය පරිපාලනයේ සියලු අංශ ඉතාමත් අකාර්යක්ෂම මට්ටමක පවතින බවයි.

දුම්රිය සේවාවේ සියලු දෙනා  කඩාකප්පල්කාරීන් නොවන බවත් ඉතාඅතලොස්සක පිරිසක් කඩාකප්පල්කාරී වැඩ සිදුකරන විට කළු පැල්ලම සියළු දෙනාට යන බවත් එම අතලොස්සකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වන බවද පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් රියදුරුවරුන් ගාඩ්වරුන් බහුතරයක් දෙනා මෙරට දුම්රිය සේවාව ඉහළට නැංවීම සඳහා කැපවී ක්‍රියා කරන බවද පැවසූ අමාත්‍යවරයා දුම්රිය පරිපාලනයේ පැහැදිලි අකාර්යක්ෂමතාවයක් තිබෙන බව පෙනී යන බවද පැවසීය.

පොදු ප්‍රවාහන සේවයේදී ඇතිවන විවිධ දුෂ්කරතා හේතුවෙන් ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වන බව අවධාරණය කළ අමාත්‍යවරයා උදේ දුම්රියේ වැඩට එන මගියා හවස නිවසට යාමට දුම්රිය ස්ථානයට පැමිණි විට දුම්රිය නොමැති නම් එය ඛේදනීය තත්ත්වයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 



Recommended Articles