දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාත තුළ නායයෑමේ සිදුවීම් 867ක් සිදුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
මධ්‍යම පළාතට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් 318ක්, මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් 380ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ නායයෑම් 169ක් මෙතෙක් හඳුනා ගත් පරිදි සිදුව ඇතැයි තොරතුරු දැන ගැනීමේ පනත අනුව සිදු කරන ලද විමසීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කොට තිබේ.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම පළාතට අයත් නුවරඑළිය, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ දැඩි ලෙස නායයෑමට ලක් වූ අතර, ඇතැම් ප්‍රදේශවල පිහිටි ගම්මාන කීපයක් නායයෑමට ලක්ව පස් හා ගල්වලින් වැසී ගොස් සම්පුර්ණයෙන් පාහේ විනාශයට පත්ව ගොස් තිබිණි.
මධ්‍යම පළාතට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිට්වා බලපෑමෙන් දැඩි හානියට පත් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන අතර, එහි සිදු වූ නායයෑම්වලින් ජීවිත හානි, නිවාස හානි, දේපළ හානි, විශාල ආකාරයේ මාර්ග හානි වීම් ඇතුළු සිදුවීම් රැසකට ලක්ව තිබිණි.

