දහතුන් කෝටි පනස් ලක්ෂය මත් පෙති තොගයක් රේගු අත්අඩංගුවට


රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක් (13,50,00,000) ක් වටිනා එක්ස්ටසි (Ecstasy ) නැමැති මෙතැම්පටමයින් වර්ගයට අයත් කිලෝ ග්රැම් 09 ක් බර මත් පෙති 18,000 ක් බෙල්ජියමේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් මගින් එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/07 දින පස්වරුවේ කොළඹ කොටුව  රේගු මූලස්ථානයේ දී ඒවා  විවෘත කර අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .

ඉකුත් වසරේ දෙසැම්බර් මස , කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයකට , බළලුන් සදහා ලබා දෙන ආහාර වශයෙන් සදහන් කර මෙම පාර්සල් 03 ගුවන් තැපැල් සේවය ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබුණි .

මෙම පාර්සල් පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ලිපිනය පිළිබඳව සොයා බලා ඇති අතර , එම ලිපිනය ව්‍යාජ එකක් බවට තොරතුරු අනාවරණය වීමත් සමගම මෙම පාර්සල් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

මෙවැනි විශාල ප්‍රමාණයකින් යුතු  එක්ස්ටසි මත් පෙති තොගයක් ආසියානු රටක අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර , ශ්‍රී ලංකාව තුළ ආරක්ෂක අංශ මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති විශාලතම මත් පෙති තොගය ද මෙය බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles