දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි


රුපියල් දස කෝටි අසූ ලක්ෂයක් වටිනා " කොකේන් " මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට  පැමිණි විදේශීය ගුවන් මගියෙකු , කටුනායකට ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත්  කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/15 දින උදෑසන  අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකි ( Geologist ) ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් 05/15 දින උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02 ක් තුළ සූක්ෂම ලෙස සගවා , මෙම 
" කොකේන් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 ක් රැගෙන විත් තිබුණි .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ " කොකේන් " මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ

.
 



Recommended Articles