දකුණේ පාතාලයට ආයුධ දුන් වව්නියාවේ තිදෙනෙක් ටී.අයි.ඩී. රඳවාගෙන ප්‍රශ්න කරයි


එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා මාස 03ක කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  නියෝග කළේය.

කාරියක් පෙරමාල් රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු වික්‍රම සහ මොහොමඩ් රාසික් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය 21 වැනිදින කිරිබත්ගොඩ පොලිස් වසමේදී ටී-56 ගිනිඅවියක්, පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක් සමග අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

අදාල  ගිනි අවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යෑමට සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසීය.

සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන මෙම සැකකරුවන් තිදෙනා සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.

එක් සැකකරුවකුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ විවිධ වර්ගවලට අයත් අත්බෝම්බ 86ක්, ටී-56 ජීව පතොරම් 321ක්, පැති අවි පතොරම් 03ක් සහ මත් කරල් 5600 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.

මෙම අවි ආයුධ එල්.ටී.ටී.ඊ යුධ සමයේදී එක් රැස් කර සඟවා තබාගෙන දකුණේ අපරාධ සිදු කිරීමට යොදා ගන්නේද? නැතහොත් දකුණේ අපරාධකරුවන්ට හා පාතාල කල්ලි සාමාජිකයින්ට කුලියට ලබා දී මුදල් රැස් කරන්නේ ද? යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමටද නියෝග කළේය.

 



Recommended Articles