දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළට


දකුණු පළාතෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත  ආසාදිතයන් සංඛ්‍යාව 125ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 41කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 24ක් වාර්තා වී ඇත.

ඊයේ  (11) සවස 4.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී අලුතෙන් රෝගීන් 17 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇත. ඔවුන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 12ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 04ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 01ක් වශයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් පිරිසක් ඊයේ  දිනයේ වාර්තා වී ඇත්තේ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ධීවර පවුල්වලට අයත් පිරිමි දරුවන් දෙදෙනකු ඇතුළු පිරිමි 05ක් හා කාන්තාවන් 05 ක් මෙලෙස  රෝගීබව තහවුරු වී ඇත. උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අනෙක් රෝගීන් දෙදෙනා වාර්තා වී තිබේ. ඒ දෙදෙනා ද පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ කියයි.

මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් 04 දෙනා මොරවක හා අකුරැස්ස ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවෝය. ඔවුන් සියලු දෙනාම මීට ඉහත කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් කාන්තාවගේ සමීප ආශ්‍රිතයෝය.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගියෙකු වාර්තා වී ඇත්තේ වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඔහු ද ධීවර ආශ්‍රිතයෙකි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2518, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1351ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 763ක්නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බවයි.

මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර හේතුවෙන් කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කරන ලද මාතර පදිංචි 03 දෙනකු හා හම්බන්තොට පදිංචි 05 දෙනෙක් සුවය ලබා නිවෙස්වලට යළි පැමිණ ඇති බව ද මහගමගේ මහතා කීවේය. 

 



Recommended Articles