දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 1,442 දක්වා ඉහළට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (12) වාර්තා වූ නව ආසාදිතයින් 37දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,442දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 799ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 495ක් දක්වා දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 148ක් දක්වා ද ඉහල ගොස් තිබේ..

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  21දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් 11දෙනකු දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 05දෙනකු ද අලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වන ආසාදිතයන් 27 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 08කි. ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 05 දෙනකු ද බද්දේගම, නාගොඩ හා රත්ගම බල ප්‍රදේශ වලින් ආසාදිතයින් දෙදෙනා බැගින් ද බෝපෙ පෝද්දල හා හබරාදූව බල ප්‍රදේශ වලින් ද එක් රෝගීයා බැගින් ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් 05 දෙනකු දික්වැල්ලෙන් ද 04දෙනකු මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති අතර වැලිගම හා මොරවකින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන නව ආසාදිතයින් පස් දෙනාගෙන් 03දෙනකු ලුණුගම්වෙහෙර කොට්ඨාශයෙන් ද අගුණුකොලපැළැස්සෙන් හා තංගල්ලෙන් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.

දකුණු පළාතේ පවුල් 1,324ක පුද්ගලයෝ3,431දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 562ක පුද්ගලයින් 1,415දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 327ක පුද්ගලයින් 1,142දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 435ක පුද්ගලයින් 874ක් ද නිරෝධායනයට යෝමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 69,162ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 31,995ක් ද මාතර පරීක්ෂණ 20,564ක් ද හම්බන්තොට පරීක්ෂණ 16,603ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 906දෙනකුම සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 519 දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 311 දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76 දෙනකු ද සුවය ලබා ඇත.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

 

 

 

 



Recommended Articles