ලබන මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (24දා) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙවර ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දදායකයන් හයලක්ෂ හතළිස් අටදහස් හාරසිය අනූපහක් (648,495) සුදුසුකම් ලබා තිබේ.
මේ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 24, 25, 28 සහ 29 යන දින හතර තුළ සිදුකිරීම සිදුවේ.
මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබන බවද පෙන්වා දෙයි.
මීට අමතරව විශේෂ රාජකාරිවල නිරත වන ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
මේ මස 24 හා 25 යන දිනවල සලකුණු කරනු ලබන තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ඡන්දය සලකුණු කල දිනම තැපෑලට භාර දෙන අතර, 28 හා 29 යන දිනවල සලකුණු කරනු ලබන තැපැල් ඡන්ද පැකට්ටු එම දිනවල සහතික කිරීමේ නිලධාරියාගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලට අතින් ගෙනවිත් භාර දීමට නියමිතව තිබේ.
තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය භවිත කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්දය සලකුණු කිරීමේදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළහොත් ඡන්ද හිමියාගේ අන්‍යනතාව පරීක්ෂා කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට තේරීම් භාර නිලධාරීන් විසින් පත් කොට ඇති නිලධාරීහු මෙම කටයුතු සිදුකරති. එසේ නොවන අවස්ථාවලදී රාජකාරි හැඳුනුම්පත් ඉදිරිපත් කරන තැපැල් ඡන්ද හිමියාට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව සහතික කිරීමේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම හැඳුනුම්පත්වලින් එක් හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බවද පෙන්වා දෙයි.