ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශට


සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව අස්වීම ලබාගැනීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව මෙම පොදුසමා කාලයක් ප්‍රකාශය පත් කර ඇති බවත්, ඒ අනුව අද (05දා) සිට ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වන බවත් යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.

‍වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලබාදෙන ලද උපදෙස් මත යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු අංශයන් වෙත මේ වනවිට දැනුම්දී ඇති බව එහි සඳහන් කර තිබේ.

2019 සැප්තැම්බර් මස 30 දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණක් මෙලෙස පොදු සමාව හිමි වන බවද එම මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

 



Recommended Articles