ත්‍රිකුණාමලය වරාය කාර්මික වරායක් ලෙස සංවර්ධනයට පියවර


1979 ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවීමේ දී වරාය කොමසාරිස් භාරයේ තිබූ සියලු ඉඩම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නීතිය ක්‍රියාත්මක වීම මගින් පැවරී ඇත. කෙසේ වෙතත් ත්‍රිකුණාමලය වරාය අවට වරාය කොමසාරිස්වරයා භාරයේ තිබූ ඉඩම් ඉතා සීමිත වූ බැවින් හා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වරාය විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව වරායේ කටයුතු සඳහා අවශ්‍ය වූ රජයේ ඉඩම්, ඉඩම් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව 1984 වර්ෂයේ  දී විශේෂ ගැසට් පත්‍රයක් මගින් වරාය අධිකාරිය සතු කරගෙන ඇත. එම භූමි ප්‍රමාණය හොක්ටයාර 2255 ක් පමණ වේ. 

මේ වනවිට ත්‍රිකුණාමලය වරාය කාර්මික වරායක් ලෙස සංවර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. එම හඳුනාගත් භූමි ප්‍රමාණයට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ඉඩම් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමේ සැලැස්මක් (Land use master plan) හඳුන්වා දී ඇති අතර එම සැලසුම ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලසුමට සහ Sabana Jurong සංවර්ධන සැලසුමට, ජාතික වරාය සංවර්ධන සැලසුමට අනුකූලව සකස් කර ඇත.

මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී වරාය ඉඩම් වල අනවසරයෙන් වගා කරන පිරිසක් විසින් නොයෙකුත් විරෝධතා ආරම්භ කරන  ලද අතර, මේ වනවිට එකී අනවසර පදිංචිකරුවන් වෙත රජයේ ඉඩම් සන්තකය (ආපසු පවරා ගැනීමේ) පනත ප්‍රකාරව නඩු පවරා ඔවුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවති. 

අනවසර ලෙස ඉඩම් අත්පත් කරගත් පිරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හා දිස්ත්‍රික් උසාවිවල නඩු ගොනුකර ඇත. එම සියලු නඩු විභාග කළ අධිකරණය විසින් එම ඉඩම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති හිමිකම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ පැවති නඩු නිෂ්ප්‍රභ කරන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ ඉඩම් වලින් කොටසක් මේ වනවිට ආයෝජකයින් කිහිපදෙනෙකු වෙත ගිවිසුම්ගතව ලබාදීමට පියවර ගෙන ඇත. එලෙස ගිවිසුම් ගතවූ ආයෝජකයෝ මෙම ඉඩම්වල මේ වනවිට ව්‍යාපෘති කටයුතු ආරම්භ කරමින් සිටින අතර ඔවුන් වෙත සංවිධානාත්මක පිරිස් විසින් විවිධ අපහසුතා, බාධාකිරීම් සිදුකරමින් පවතී. 

ඉහත සඳහන් කරන ලද හෙක්ටයාර 790 ක ඉඩම් ප්‍රමාණයක් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එකතු වී මේ වනවිට හඳුනාගෙන තිබේ. එම හඳුනාගත් ඉඩම් ප්‍රමාණය නෛතික හා විධිමත් ලෙසින් එම ජනතාව වෙත පැවරීමට අවශ්‍ය මූලික කටයුතු ද මේ වනවිට සිදුකරමින් පවති. 

එම සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතින අතුරතුර විවිධ සංවිධානාතාත්මක සහ කඩාකප්පල්කාරී කණ්ඩායම්වල බාධාකිරීම් මධ්‍යයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ප්‍රදේශයේ ජනතාව බහුල වශයෙන් පදිංචිව සිටින, මේ වනවිට ද හඳුනාගෙන ඇති හෙක්ටයාර 790 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් හඳුනාගත් ජනතාව වෙත ලබාදීම සඳහා රජය වෙත නිදහස් කිරීමේ කටයුතු තවදුරටත් සාර්ථකව සිදුකරගෙන යාම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වේ. 

 



Recommended Articles