තවත් ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට


රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 65,000 ක් අද දින අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම එන්නත් තොගය තුළ ස්පුට්නික් - V එන්නතේ පළමු මාත්‍රාවෙන් එන්නත් 50,000 ක් ද , එහි දෙවන මාත්‍රාවෙන් එන්නත් 15,000 ක් ඇතුළත් වී තිබුණි .

රුසියාවේ මොස්කව් නුවර සිට මෙම එන්නත් තොගය , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  වෙත රැගෙන විත් , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 1.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .

මෙම එන්නත් ශීතකරණ බහාලුම් 13 ක් තුළ අසුරා තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ , ආනයන අංශයේ ශීතකරණ තුළ ගබඩා කිරීම සිදු කෙරුණි .

ඉන්පසුව අද දින උදෑසන ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ වලින් ඔවුන්ගේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණි.

 

 



Recommended Articles