තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට


චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්"එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබා ගත් ඒවා වේ .

මීට අමතරව චීන මහජන විමුක්ති හමුදාව විසින් , ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද , තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ද , මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ .

චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 05.20 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම අගෝස්තු මාසය තුළ චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් ( මිලියන 07 ) ක් , ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර , ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා එක් කෝටි අසූ ලක්ෂයක් ( මිලියන 18 ) ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .

මෙම එන්නත් තොගය භාර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න , ශ්‍රී ලංකා යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 



Recommended Articles