තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට


ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිලදී ගත්" සයිනොෆාම් " එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 16,192 ක් බරැති , එන්නත් පෙට්ටි 42 ක් තුළ අසුරා තිබේ .

චීනයේ බෙයිජිං නුවර ගුවන් තොටුපළෙන් 09/05 දින අලුයම 12.31 ට ශ්‍රී ලංකාව බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙම එන්නත් තොගය රැගෙන අද දින අලුයම 04.48 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලංකාව විසින් මේ වනවිට චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් 220,00,000 ක් ( මිලියන 22 ක් ) මිළදී ගෙන ඇති බව , මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එසේම එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත" ස්පුට්නික් - V " එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට , එම එන්නත් එක් ලක්ෂ විසි දහසක් (120,000 ) ක් ශ්‍රී ලංකාව වෙත  ලබා දීමට , රුසියානු ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසය තුළ ඇමෙරිකාවේ" ෆයිසර් " එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබා ගැනීම සදහා , මේ වනවිට ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව , අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර ඇති බව ද දිනූෂ දසනායක මහතා පැවසීය .

එසේම ශ්‍රී ලංකාව විසින් මිළදී ගෙනඇති මෙම එන්නත් තොගය මෙරටට ප්‍රවාහනය කිරීම සදහා අවම වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 03 ක් වත් අවශ්‍ය විය හැකි බව ද දිනූෂ දසනායක මහතා පැවසීය .

අද දින ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් " සයිනොෆාම් " එන්නත් මාත්‍රා 40 ලක්ෂයේ එන්නත් තොගය අතරින් තවත් එන්නත් තොගයක් රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 885 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද දින උදෑසන 06.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණ ද එම ගුවන් යානයේ පැමිණීම අද දින  සවස් වනතෙක් පසුපසට ගොස් තිබේ .

දැනට මෙම එන්නත් තොගය මෙරටට රැගෙන ඒමට එම ගුවන් යානය ද , චීනය බලා මේ වනවිට පිටත්ව ගොස් ඇතත් , එම යානය තුළ හට ගෙන ඇති කාර්මික දෝශයක් නිසා , එම ගුවන් යානය මේ ආකාරයට අද දින සවස් වනතුරු පමා වන බව ද , කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles