තවත් ලාංකිකයින් 594 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594 දෙනෙකු ගුවන් යානා 09 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

මේ අතරින් කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , විවිධ කරදර , හිරිහැර වලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු කුවේට් සිට අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විවිධ රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි .

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ගුවන් තොටුපළ තුළ පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයෙන් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර , රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

මෙසේ ශ්‍රී ලංකාවට රජයේ විශේෂ අවසරය මත  පැමිණි ඉතිරි 218 දෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව සංචාරක හෝටල් වෙත නීරෝධායනය සදහා යොමු කර තිබුණි .

මෙසේ පැමිණ තිබූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු ද , සිංගප්පූරුවේ සිට 41 දෙනෙකු ද සිටිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එසේම මෙම කාලය තුළ තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

එසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 131 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 70 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

 



Recommended Articles