ඩොල්ලා දැලේ


ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් 2023.07.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වංචනික අයුරින් සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා කාන්තාවක් යොමුකර ඇති අතර, එහිදී ඇයට විදීමට සිදුවූ අනේකවිධ හිරිහැර හේතුවෙන් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසය භාරයේ රැදී සිට තිබේ. එහිදී එම කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ල අනුව හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කාර්යාංශයට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ චෝදනාව යටතේ සැකකරු මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර, සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාව සඳහා කාන්තාවක් යැවීමට උත්සාහ කළ ගලේවෙල පදිංචි රිස්මි මොහොමඩ් නසීම් නැමැත්තෙකු කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් 2023.07.22 දින අත්අඩංගුවට ගෙන කාර්යාංශය වෙත භාර දී තිබේ.

කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් විසින් අදාළ කාන්තාවගේ ලේඛන පරික්ෂා කිරීමේදී ඇය සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාවට යන බව හදුනාගෙන ඇති අතර, ඒ අනුව මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.

එම සැකකරු මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 2023.07.25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ.

 



Recommended Articles