ඩුබායි සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර හිංසා , පීඩා වලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙසේ විදේශ ගතවී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි .

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අද දින අලුයම 2.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණ සිටි වැඩි පිරිසක් එරට ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් විය .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස , පසුව නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.

 



Recommended Articles