ජාතික ඉඩම් බැංකුවක්


වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම් පිළිබඳ තොරතුරු සහිත ජාතික ඉඩම් බැංකුවක්  ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

වගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙස ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රාදේශීය අපනයන කරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී ඊයේ (29) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ඉදිරි පස් අවුරුද්දක කාලය තුළදී අපනයන ආදායම් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම ඉඩම් යොදා ගැනීම අපේක්ෂිත යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය වසර 10ක කාලය තුළදී අපනයන ආදායම් ඉපැයීම් වර්ධනය 1%ක් වූ නමුත් මේ වන විට එහි වර්ධන අගය 7%ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබුණු බව කී අමාත්‍යවරයා මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ඉපැයීම් මෙම වර්ෂය තුළදී ළගා කර ගැනිමට හැකියාව ලැබුණු බව ද පැවසුවේය.

ඒ සඳහා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගෙන් විශාල කාර්යයභාරයක් ඉටුවුණු බවත් ඉදිරියේදී ඔවුන්ගේ දායකත්වය තව දුරටත් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. අපනයන සම්බන්ධීකරණය සඳහා වත්මන් රජය පිහිටවූ විශේෂ ඒකකය හේතුවෙන් යුද්ධය පැවැති රටවලට පවා අඛණ්ඩය භාණ්ඩ අපනයනය කිරීමට හැකියාව ලැබුණු බව හදුන්නෙත්ති මහතා පැවසුවේය.

මධ්‍යම පළාතේ ආයෝජකයන් විසින් වාර්ෂිකව උපයන ඩොලර් මිලියන 179ක මුදල ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුලු රජයේ ආයතනවල සක්‍රීය දායක්තවය ලබා දෙන බව කීවේය. මෙතෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් අකාර්යක්ෂමතාවයක් පැවතුණි නම් එම ක්‍රමය වෙනස් කොට ඇති බැවින් යළි රජයේ ආයතන කරා පැමිණ සේවා ලබා ගන්නා ලෙස සියලු ව්‍යවසායකයන්ට හා නවකයන්ට ආරාධනා කරන බව ද කර්මාන්ත හා ව්‍යවසායත්ව සංවර්ධන අමාච්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා තව දුරටත් සඳහන් කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කර තිබුණු මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, එම මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයලත් මහතා ඇතුලු නිලධාරීන් ද මධ්‍යම පළාතේ අපනයන කර්මාන්තරකරුවන් ද සහභාගී විය.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles