ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකාරිනියක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට


ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී 12/09 දින උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

ඇය කැරොලයින් අරවුජෝ ද සිල්වා (Caroline Araujo De Silva ) නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත  බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි .

බ්‍රසීල රජය මගින් ඇය අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට , ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබුණි .

එනිසා ඇය අත් අඩංගුවට ගැනීම සදහා බ්‍රසීල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තු  නිවේදන නිකුත් කර තිබුණි .

ඇයගේ තායිලන්ත වීසා කාළය නිමා වීම හේතුවෙන් , තායිලන්තයෙන් ඇය මෙසේ ශ්‍රී ලංකාව බලා  පිටත්වී තිබේ .

ඒ වනවිටත් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිටි අතර , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා මෙසේ පැමිණ තිබුණි .

ඇය 12/09 දින අලුයම 12.00 ට තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා පැමිණි  සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

මෙසේ පැමිණි ඇය සිය ආගමන  නිෂ්කාශන කටයුතු කර ගැනීම  සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරී කවුළුව වෙත පැමිණ සිටියාය .

එහිදී ඇය ඉදිරිපත් ගුවන් ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය වන ලියකියවිලි , දේශ සීමා තොරතුරු පද්ධතිය සමඟ පරීක්ෂා කල ආගමන විගමන නිලධාරීවරයා , ඇය  ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු  නිවේදනයක් නිකුත් කර ඇති තැනැත්තියක් බව අනාවරණය කර ගත්තේය .

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපල  පැමිණීමේ පර්යන්තයේ  රාජකාරියෙහි  නිරතව සිටි  ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කෙරුණි .

එහිදී මෙම බ්‍රසීල ජාතික තරුණිය තායිලන්තයේ දිගු කළක් රැදී සිටීමෙන් අනතුරුව , ජාත්‍යන්තර පොලීසියට හසුවීමෙන් වැලැකීමට හැකි වන අයුරින් , වෙනත් රටකට ඇතුළු වීම සදහා ඇය සැළසුම් කර ගෙන තිබූ බවත් , ඒ අනුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ,  මේ පිළිබඳව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත් විය .

මේ පිළිබඳව සියලු නීතිමය කරුණු තහවුරු කර ගැනීමෙන් පසුව , අදාළ තරුණිය , ජාත්‍යන්තර ගුවන් සේවා නීතිය අනුව ඇය පැමිණි ගුවන් යානයෙන් , ඇය පැමිණි රට වන තායිලන්තය වෙත පිටුවහල් කිරීම සිදු කළ වුවත් , ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකාරිනියක වූ බැවින් , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීම සදහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර සකස් කර දී , 12/09 දින උදෑසන 10.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් දෝහා ඔස්සේ බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්හ .



Recommended Articles