ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අදයි


අප්‍රිකානු, ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු  අරමුණු කරගනිමින් 2012  අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය ප්‍රකාශයට පත්කර ඇත.

එදින සිට වර්තමානය දක්වා වූ කාලයෙහි ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සැමරීම කරනු ලැබේ.ශ්‍රී ලංකාවෙහි අලි- මිනිස් ගැටුම හේතුවෙන් අලි-ඇතුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති අයුරු පසුගිය කාලයෙහි දක්නට ලැබිණ.

2015-2019 කාලයේ දී අලි මරණ 1466ක් ද 2020-2024 කාලයේදී අලි මරණ 2018ක් සිදුව ඇති බව පසුගියදා අනාවරණය විය.ආසන්න වශයෙන් 2020-2024 කාලයෙහි වෙඩි වැදීමෙන් පමණක් අලි-ඇතුන් 300ට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත.

මෙම වසරේ  ජනවාරි සිට වර්තමානය දක්වා ගත වූ කාලයෙහි අලි-ඇතුන් 240ට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තාවේ.විවිධ මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන්  අලි- ඇතුන් ගම් වදින අතර, ඒ හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

මෙම තත්ත්වයත් සමග අලි-ඇතුන් මරා දැමීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදුවන බවද පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණය කළේය.

මේ අතර, වන අලි - ඇතුන් තුවාල ලැබුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම පශු වෛද්‍යවරුන් 12ක් පමණක් සිටීම ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

මෙම අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ සඳහා පසුගිය ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුවද විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ නිරතව සිටී. 



Recommended Articles