ජපානය, තුර්කිය හරහා යුරෝපයට යන්න ඉරාන ජාතිකයාගේ ගමන කටුනායකින් නවතී


කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජපානය , තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 07/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 47 හැවිරිදි ඉරාන ජාතිකයෙකි . ඔහු 07/19 දින රාත්‍රී 08.00 ට ජපානයේ නරීටා බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමේදී , ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රය පිළිබද සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔහුගේ සියලුම ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී , මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , ඒ සදහා ඔහු එරට තැරැව්කරුවෙකු වෙත ඇමෙරිකානු ඩොලර් 15,000 ක ( ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 45 ක් ) ගෙවා ඇති බවත් අනාවරණය කිරීමක් සිදු කර තිබූණි .

එසේම තවදුරටත් ඔහුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේ දී , ඒ තුළ ඔහුගේ සැබෑ ඉරාන ජාතික ගමන් බලපත්‍රය සහ ජපානයේ නරීටා සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද සගවා ගෙන තිබියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .

ඉන්පසුව අත් අඩංගුවට ගත් මෙම ඉරාන ජාතිකයා , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles