ජනපතිවරණයට එනවද කියා MR ප්‍රකාශයක් කළ යුතුයි - GL


ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (17දා) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු නීතීමය බාධාවක් නැති බවත්, රාජපක්ෂ මහතාට තීරණයක් ගැනීමට අයිතිය ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකු බලපෑම් නොකරන බවත් ඔහු මෙහිදී පැවසීය.

සාක් කලාපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය සංචාරයේදී ගෞරවය හිමිව තිබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශනයක් සම්බන්ධව නවදිල්ලියේ හන්දියක් හන්දියක් ගානේ පෝස්ටර් අලවා තිබුණු බවත් ජී.එල්.පීරිස් මහතා මෙහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලමින් ඉන්දීය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වූ බවත්, ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය හිටපු ජනාධිපතිවරයාට හිමිවන බවට ඉන්දීය මාධ්‍යවල විශ්වාසයක් ඇතිව තිබෙන බවත්  හෙතෙම පවසා සිටියේය.

අතීතයේ සිදු වූ සියලු දේ අමතක කර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



Recommended Articles