ජනපතිට දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතුයි


කවුරුන් කෙසේ පැවසුවද ජනාධිපතිවරයාට දැවැන්ත ආරක්ෂාවක් ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් හෙලිකොප්ටරේ පවා ගමන් බිමන් යා යුතු බවත් එහෙත් ඊට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ පේරාදෙණිය ගන්නරුවේදී ඉකුත් 27 වැනි දිනපැවති වැඩසටහනකට එක්වෙමිනි.

"ජනාධිපතිවරයා මුල් අවධියේදී ගමන් බිමන් යන විට බොහෝ අය විවේචනය කළා ඔහොම ගිහිල්ල බෑ ආරක්ෂාව මදි දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි කියා.  සම්බන්ධයෙන් මගේ මතයත් එයමයි. ජනාධිපතිවරයාට අනිවාර්යයෙන් විශේෂ ආරක්‍ෂාවක් අවශ්‍යයි. විවිධ අය විවිධ මත පළ කළත් ජනාධිපතිවරයාට දැවැන්ත ආරක්‍ෂාවක් දිය යුතුමයි.

මම පසුගිය පසුගිය දා දැක්කා ජනාධිපතිතුමා අධිවේගී මාර්ගයේ වාහනයක ගමන් කරන දර්ශනයක්.  රථයට පසු පසින් තව රථවාහන කීපයක්ම යන ආකාරය දුටුවා. ඒක බලලා සමහරු කියනවා පරණ ක්‍රමයමයි මිනිස්සු විතරයි වෙනස් වුණේ කියලා.

ඒවා මහ මෝඩ මත. ජනාධිපතිතුමා කොහේ හරි යනවා නම් අනිවාර්යෙන්ම එතුමා එක්ක යන පිරිස් ඉන්නවා. ආරක්ෂක නිලධාරීන් ඇතුළු අදාළ නිලධාරීන් කණ්ඩායමක් යනවා. ඒවා නවත්තන්න බෑ. ඒවා විවේචනය කරනවා නම් මෝඩ මත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පිටින් බලනකොට පෙනෙන එක නෙවෙයි ඇත්ත ඒවා කාටවත් ඕනෑ ඕනෑ විදිහට වෙනස් කරන්නබෑ.

මම නම් කියන්නේ ජනාධිපතිතුමාට අවශ්‍ය ගමන් යන්න හෙලිකොප්ටරයක් දෙන්න ඕන කියලා. නමුත් ඒකට අනුර දිසානායක සහෝදරයා කැමති නෑ.

කුමක් හෝ අවශ්‍යතාවයක් වෙලා ජනාධිපතිතුමා කවදා හරි හෙලුකොප්ටරයක ගමනක් ගියොත් එදාට බලාගන්න පුළුවන් මේ රටේ මාධ්‍යයි යූටියුබ් චැනල්ලුයි හැසිරෙන විදිය.

එක දවසේ වැඩ 10 කට 15කට ජනාධිපතිතුමාට යන්න වුණත් හෙලිකොප්ටරයක් පාවිච්චි කරන්න වෙනවා. විවේචන කරනවාට වඩා එ් පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලියයුතුයි. ඕන දේ එපා එපාදයේ විවේචනය කර කර ඉන්නවාට වඩා ඒ දිහා විද්‍යාත්මක වගේම තර්කානුකූල පදනමකින් බලන්න ඕනේ.

මම පසුගියදා එක මිටට ගොවි බිමට වැඩසටහන යටතේ වාරි පද්ධති නිරීක්ෂණය කරන්න ගියා. මම ගියේ පුරුදු විදිහට කැබ් රථයක. යන විට මගේ පිටුපසින් වාහන 15 ක් විතර පෝලිමට එනවා. දිස්ත්‍රික් ලේකම් එකක නිලධාරීන් එක එක වාහනවල පොලිසිය තවත් එකක මේවා දකින මිනිස්සු කියනවා පරණ ක්‍රමය තමයි කියලා. මේ නිලධාරීන් එක එක තැන්වල ඉඳලයි එන්නේ. එකම වාහනයේ එන්න විදිහක් නැහැ. නමුත් අපි සාකච්ඡා කරලා වියදම් අඩු ක්‍රමයක් බලන්න වෙනවා.

මම මගේ පෞද්ගලික ලේකම්ට කිව්වා මේ අයට මගේ පස්සෙන්ම එන්න එපා මම අදාළ ස්ථානයට ඇවිත් විනාඩි 10 කට විතර පස්සේ එතැනට එන්න කියලා. මම එහෙම කිව්වට ඒ අය මගේ පස්සෙන් පෝලිමේ එනවා. ඉතින් ජනතාව විවේචනය කරනවා. මේවා අපිට නවත්තන්න බෑ. විවේචනය කරාට ප්‍රශ්නෙකුත් නෑ. නමුත් අපි ආවේ වෙනසක් කරන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි දැන් වෙනස් කරමින් ඉන්නවා" යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles