ජනපති පාර්ලිමේන්තුව අමතමින් කළ කථාව අනුව ජනතාවට ලැබෙන සහන මෙන්න


දිට්වා  සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන සහන පැකේජයක් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය. ඒහි කරුණු සැකෙවින් මෙසේය.

- ලංකාවේ පළමු වතාවට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500ක් දක්වා වියදම් කිරීමේ බලයක් දුන්නා.

- දිස්ත්‍රික් ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා.

- අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. 

- ග්‍රාම නිලධාරි මහතාටත් රුපියල් 50,000 දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. 

-දේපළ බද්ද ගැන කල්පනා කරන්නේ 2027දී කියලා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දීලා තියෙන්නේ.  

- අපි වියළි සලාකය සඳහා ලබා දෙන මුදල වැඩි කළා.

-රුපියල් බිලියන 50ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ බිලියන 50 සඳහා කිසිසේත්ම ණය සීමා වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. දැනටමත් අපි වෙන් කර තිබෙන ප්‍රතිපාදන තිබෙනවා. ඒ අනුව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.

-මිලියන 10,500කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විටත් නිදහස් කර තිබෙනවා.

- හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට සුදුසු පරිදි ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබා දී තිබෙනවා. අපි සියලු දෙනාටම එම මුදල ලබා දෙනවා. මීට පෙර ලබා දුන්නේ 10,000යි. එයත් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත.

-  ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන් ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමණ ගෙවන රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා.

- නාය යාම් නිසා අවතැන්ව, කඳවුරුවල සිටින නිවාස අහිමි පවුල් වෙත මාස 03ක කාලයක් නිවසකට යාම සඳහා රුපියල් 25,000ක් ලබා දීමට. මෙය මාස 06 දක්වා දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

- ජීවනෝපාය මාර්ග සහ නිවාස අහිමි වූ දෙදෙනෙකුට වැඩිය සිටින පවුල්වලට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස සඳහා කුලී නිවසක ජීවත්වීම සඳහා භේදයකින් තොරව රුපියල් 50,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. අඛණ්ඩව මාස 03ක් මෙය ලබා දෙනවා, ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීම සඳහා.

- ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය වර්ග සහ බඩ ඉරිගු ආදිය සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව වන්නේ මේ කුඹුරු යළි වගා කිරීමයි. ආසන්න වශයෙන් කුඹුරු හෙක්ටයාර 160,000ක් පමණ හානියට පත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා. සාමාන්‍යයෙන් මීට පෙර මාසයකට වඩා අඩු ගොයමකට හෙක්ටයාරයකට රුපියල් 40,000යි ලබා දුන්නේ. අපී තීරණය කර තිබෙනවා මේ හෙක්ටයාර 160,000ම නැවත වගා කිරීමට. ඒ සදහා අවශ්‍ය බිත්තර වී, පොහොර ආදිය ගොවි ජනතාවට ලබා දෙනවා.

- එළවළු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා. මේ මුදල් වෙන් කිරීම අද සිට සිදු වෙනවා. හැබැයි අපේ අමාත්‍යාංශ නිලධරීන් සමත් විය යුතුයි මෙම වගා නැවත සිදු කිරීමට. 

- ආපදාවට ලක් වූ පශුවෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සෑම සත්ත්ව පාලන ගොවිපොළක්ම නැවත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02 බැගින්, ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම කුඩා, මධ්‍යම, විශාල භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා.

- ඒ වගේම, මේ 2026 අයවැය ලේඛනයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම සඳහා අපි මිලියන 80,000ක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයකින් මෙම බිඳවැටුණු කර්මාන්ත නඟා සිටුවීම සදහා ණය ආධාර ලබා දෙන ලෙස අපි උපදෙස් දී තිබෙනවා.එවිට අපිට යළි මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට හැකියාව තිබෙනවා.

- ඒ වගේම ලියාපදිංචි වී තිබෙන ධීවර බෝට්ටු පූර්ණ ලෙස හානි වී තිබෙනවා නම් ඒ සෑම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 04ක දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

- මේ අතර ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට අධ්‍යාපන උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 15,000ක දීමනාවක් භාණ්ඩාගාරයෙන් ලබා දීමටත්, ඊට අමතරව රුපියල් 10,000ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම දැනටමත් අපි අස්වැසුම ලබන පවුල්වල පාසල් ළමුන්ට රුපියල් 6,000ක දීමනාවක් ලබා දෙන අතර එම දීමනාවට මෙමගින් කිසිදු බලපෑමක් නැහැ.

- ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා.

- ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් රජයෙන් ඉඩමක් ලබා දෙනවා. එසේ ඉඩම් ලබා දීමට ඉඩම් නොමැති නම් නිවස ඉදිකර ගැනීමට ලබා දෙන දීමනාවට අමතරව ඉඩමක් ලබා ගැනීමට ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා.

- ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා උපරිමව රුපියල් ලක්ෂ 25ක් දක්වා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 10,15,20,25 යන ඛාණ්ඩ 04ක් යටතේ එම මුදල් ලබා දීමට කටයුතු කරනවා.

- ආපදාවෙන් සිදු වූ ජීවිත හානිවලට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.

- මේ දින 25ට ක්‍රියාත්මක කිරීමට බිලියන 72.2ක් තිබෙනවා. අද අපි 2026 අයවැය ලේඛනය සම්මත කළා. ජනවාරි මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා. එම අයවැය ලේඛනයට රුපියල් බිලියන 500කට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

 



Recommended Articles