ජංගම දුරකතන චාජරයෙන් ආපු මරුවා


ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව අනාවරණය වී තිබේ.

මේ බව සොයාගෙන ඇත්තේ එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල ජාතික රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාගේ දැනුම්දීමක් මත ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් කරන ලද ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවය.

මෙලෙස මියගොස් ඇත්තේ වංචාවල, හල්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි බඹරැන්දගෙයි විනීතා පද්මිණී. නමැති කාන්තාවකි.

ඇයගේ මරණ පරීක්ෂණයේ දී ඇගේ දකුණතෙහි විදුලි සැර වැදීමෙන් ඇති වූ විශාල තුවාල කැළලක් දක්නට ලැබී ඇති අතර එක් පියයුරකින් විදුලිය පිටවී තිබුණේ එම පියයුර පුපුරා තුවාලයක් ඇතිකරමිනි.

නමුත් ඇයට විදුලිය වැදුණු ආකාරය පිළිබඳ නිශ්චිතව තීරණයක් ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇත.

මියගිය කාන්තාවගේ සැමියා කනංකහේවා ගමගේ චන්ද්‍රසිරි (68) මෙසේ කීවේය.

“මම විශ්‍රාමික හමුදා සේවකයෙක්. නිවසේ සිටින්නේ මමත් බිරිඳත් විතරයි. ඇයට ලොකු අසනීපයක් තිබුණේ නෑ. 25 වැනි දා මම නිවසින් බැහැරව ගියා. බිරිඳ පමණයි නිවසේ සිටියේ. මම පැයකින් විතර එනවිට බිරිඳ පේන්න හිටියේ නෑ. ඇගේ දුරකථනය නාදවුණා. කාමරය පැත්තෙන් සද්දය ආපු නිසා මම ඒ පැත්තට ගියා. ඇය කාමරය ඇතුළේ දොර අසළම උඩුබැලි අතට බිම දිගා වී නිදා සිටියා. වෙනදාටත් ඇය බිම නිදාගන්නවා. මම ඇහුවා ෆෝන් සද්දේ ඇහෙන්නේ නැද්ද කියලා. ඇය කිසිවක් කීවේ නෑ.

මම ඇයව සෙළෙව්වා. ඒත් කතා කළේ නෑ. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ දකුණු අතේ සුළැගිල්ලටත් අනෙත් ඇඟිල්ලටත් තද වෙලා  ෆෝන් චාජරේ ෆෝන් එකට ගහන පැත්ත තියෙනවා. අනෙක් පැත්ත බිත්තියේ ප්ලග් එකට සවිකරලා තිබුණා. මම කෑ ගහලා අනිත් අයට කතා කළා. 1990ටත් කවුදෝ එන්න කියලා. අපි බිරිඳව ත්‍රී රෝද රථයක දාලා කරාපිටියට යැව්වා. මම යතුරුපැදියකින් පස්සෙන් ගියා. 1990 මගට ඇවිත් බිරිඳව අරගෙන කරාපිටිය රෝහලට ටගෙන ගියා. මමත් රෝහලට ගිහින් ටික වෙලාවකින් වෛද්‍යවරු කිව්වා ප්‍රතිකාර පටන්ගත්තත් බිරිඳ මියගියා කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා විසිනි. එහි දී වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ඇගේ දකුණු අතේ තිබෙන විදුලි සැර වැදුණු තුවාලය සහ පියයුරක ඇති විදුලිසැර පිටවීමේ තුවාලය ඉතාමත් අසාමාන්‍ය බවයි. එමෙන් ම එවැනි තුවාලයක් ඇතිකරමින් පුද්ගලයකු මරණයට පත්වීමට තරම් විදුලියක් ෆෝන් චාජරයක් නිසා ශරීරගතවූයේ ද යන්න ගැටලුවක් බව ද වෛද්‍යවරයාගේ නිගමනය විය.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ සහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ගාල්ල ප්‍රධාන ඉංජිනේරු ඊ.ජී.යූ.සුභාෂණ මහතාට නියෝග කර ඇත්තේ මේ මරණය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයක් සහ විශේෂඥ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

හදිසි මරණ පරීක්ෂකවරයා සහ අක්මීමණ පොලිිසයේ නිලධාරීන් සමඟ විදුලිබල මණ්ඩලයේ ඩී.අයි.යූ.පෙරේරා මහතා සහ ලක්ෂාන් ද සිල්වා මහතා ද එම නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත.

එහි දී අනාවරණය වූයේ මෙම නිවසේ පැන්නුම් ස්විචය (Trip switch) අක්‍රිය වී තිබී ඇති බවයි. එමෙන් ම ඇයගේ ෆෝන් චාජරය පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එම චාජරයෙන් වෝල්ට් 110ක විදුලිබලයක් නිකුත්වන බවයි. ෆෝන් චාජරයේ දෝෂයක් ඇති බව නොදැන ඇය එම චාජරය භාවිතා කරද්දී විදුලි කාන්දුව සිදුවී ඇති අතර පැන්නුම් ස්විචය ක්‍රියාත්මක වූයේ නම් විදුලිය ක්ෂණයකින් විසන්ධි වී ඇගේ ජීවිතය බේරාගැනීමට හැකිවනු ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ වාර්තාවේ සඳහන් වී ඇත.

එම වාර්තාව සහ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙම මරණය ෆෝන් චාජරයෙන් විදුලිසැරර වැදීම හේතුවෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේය.

සිරංගිකා ලොකුකරවිට



Recommended Articles