චෙන්නායි සිට ශ්‍රී ලංකිකයින් 320ක් කටුනායකට


ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් ලොව පුරා පැතිර ගොස් ඇති කොරෝනා වෛරස ආසාදිත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .

ඔවුන් අද දින දහවල් 12.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් අතර ගර්භිනී තත්ත්වයේ පසුවන මාතාවන් පිරිසක් ද සිටියහ .

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය විෂබීජහරණය කිරීම සිදු කළහ .

ඉන්පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බලන්නට විය .

මෙම සියලු පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසුව , මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ වලින් රැගෙන යෑම සිදු කෙරුණි .

 



Recommended Articles