චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක්


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 ලක්ෂයක් 07/22 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

ඒ අනුව මේ දක්වා මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා 91 ලක්ෂයක් ශ්‍රී ලංකාවට චීනයේ සිට රැගෙන විත් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

මෙම එන්නත් තොගයෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10 ප්‍රමාණය , 07/22 දින අලුයම 05.17 ට චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ කිලෝ ග්රැම් 17,129 ක් බරැති ඇසුරුම් 57 ක මෙම එන්නත් තොගය අසුරා තිබූ අතර ,මීට අමතරව කිලෝ ග්රැම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද තිබූ  බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

එසේම මෙම එන්නත් තොගයේ දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක ප්‍රමාණය , 07/22 දින අලුයම 05.30 ට චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ කිලෝ ග්රැම් 17,141 ක් බරැති  ඇසුරුම් 57 ක මෙම එන්නත් තොගයක් අසුරා තිබුණි .

මෙම  එන්නත් තොගය ගුවන් යානා වලින් ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .

මෙම එන්නත් මෙතෙක් ශ්‍රී ලංකාවේ එන්නත් ලබා නොදුන් දිස්ත්‍රික්ක වල පදිංචි වී සිටින ජනතාව වෙත ලබා දීමට 07/23 දින පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය  චන්න ජයසුමන මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles