ගෝඨාභය ආණ්ඩුවේ රහස් රැසක් උදය හෙළි කරයි


ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදුකළ විශාල වරදක් වන රසායනික පොහොර තහනම් කිරීම සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්දැයි යන්න අදටත් අභිරහසක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය ක්‍රියාත්මක කිරීමට පෙර   තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැඩි ව විරෝධය පළ කළ බව  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමයේ  නායකයා මේ බව සදහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සමුළුව 2022.11.11 දින අමතමිනි. එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

එදා පෙරදිග ධාන්‍යාගාරය වුණු ලංකාවේ අද තත්වය මොකක්ද?  ගොයම් ගහ කහ ගැහිලා. බඩ ඉරිගු කරල යන්තම් අගල් හතරයි.  රටටම කන්න දුන්නු රජරට ජනතාව අද බඩගින්නේ. ගෝඨාභය ආණ්ඩුවේ අවසානය ආරම්භ වුණේ අන්තනෝමතික විදිහට රසායනික පොහොර තහනමින්. 

ලෝකයේ කිසිම රටක් නොකල වැඩක් කිසිම පර්යේෂණයක් නැතිව කිසිම අත්හදා බැලීමක් නැතිව කාගෙදෝ ලණුවක් කාලා හෙන හත වදිනවා වගේ  එක පාරටම තහනම් කලා. එවිට රටක ආර්ථිකය කඩා වැටෙන එක අහන්න දෙයක් ද?

2021 අප්‍රේල් 26 ආණ්ඩුවේ අර්බූදය ගැන කතා කරන්න ජනාධිපතිතුමා අපට එතුමාගේ නිවසට ආරාධනා කලා.  විමල් මම තව ඇමතිවරු දෙන්නයි.  එදා තමයි පොහොර තහනම ගැන අපට මුලින්ම කිව්වේ.  කතා කරන්න ගිය එක පැත්තක තියලා මේ අපරාධය කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමා සමග පැයකට වඩා වාද කලා. හැබැයි එතුමා දැඩි තීන්දුවක හිටිය. අමාත්‍යමණ්ඩල රැස්වීමට ඉදිරිපත් කලා.

 2021 මැයි මාසයේ දී රසායනික පොහොර තහනම පිළිබඳ යෝජනාව ජනාධිපති විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට එරෙහිව කතා කලේ වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ යන ඇමතිවරුන් සහ මා පමණයි. විමල් අමාත්‍යතුමා එදා ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටියේ නැහැ.

එක ඇමති කෙනෙක් කිව්වා “ සර් මේක කලොත් ඔබතුමා ලෝක ඉතිහාසයට එක් වෙනවා” කියලා.  තව කෙනෙක් කිව්වා “සර්ට මේ පිනම ඇති නිවන් දකින්න” කියලා.  සාතිශය බහුතරය නිහඬව සිටියා.  ජනාධිපති හිතන්න ඇති කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ නැතිව නිවන් දකින්න ෂෝට් කට් එකක් තිබෙනවා නම් ඒක පාවිච්චි කලාම මොකෝ කියලා. තහනම් කළා පොහොර.

ටික දවසක් යද්දි රට පත්තු වෙන්න ගත්තා. 2021 ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපතිතුමා  හදිසි ඇමති මණ්ඩල සාකච්ඡාවක් කැඳෙව්වා.  ආණ්ඩුවේ ජනප්‍රියතාවය බරපතල ලෙස පිරිහී පවතින බව කියලා. ඊට හේතු සහ පිලියම් ඉදිරිපත් කරන මෙන් ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.  විමල් වීරවංශ ඇමතිතුමා දිගු විස්තරයක් කරමින් රසායනික පොහොර තහනම පොහොට්ටුවේ සම්ප්‍රදායික බලකොටුව වන ගම පොහොට්ටුවට අහිමි කළ ආකාරය විස්තර කළා. 

එදා නම් ඇමතිවරු ගණනාවක් විමල් ඇමතිතුමාට පක්ෂව කරුණු දැක්වුවා. ඒත් ගොවි බිම් නියෝජනය කරන ඇමතිවරයෙක් මොකද කිව්වේ? “ඕක දැන් නතර කලොත් සර්ගේ ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ.  අපි දැන් බිම් මට්ටමෙන් කොම්පෝස්ට් පොහොර හදාගෙන යනවා.  උද්ඝෝෂණ කරන්නේ පොඩි පිරිසක් විතරයි.  ඒ නිසා සර් ගත්ත කීරනයේම ඉන්න කියලා”.

කොළඹ ඇමතිවරු රසායනික පොහොර තහනමට විරුද්ධයි.  ගොවි ප්‍රදේශවල ඇමතිවරු පක්ෂයි.   ජනාධිපතිතුමා කන් දුන්නේ අර ගමේ ඇමතිවරුන්ගේ ඉල්ලීමට. ගෝඨාභය ආණ්ඩුව කළ ලොකුම ගොන්කම පොහොර තහනමට ලණුව දුන්නේ කවුද කියන එක අදටත් අබිරහසක්.

ආර්ථිකය ඇද වැටීම ඉක්මන් කළ අනිත් තීන්දු තුනම බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගෙන ඒම වෙනුවෙන් ගත්තු තීන්දු. මේ අයියලාට ලොකු ඕනැකමක් තිබුනා බැසිල් මල්ලිට ඇමෙරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්න සලස්වන්න. ඒකට 20 වන සංශෝධනය සම්මත කර ගන්න ඕනෑ.  ඒකට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දිනා ගන්න ඕනෑ.

යුද්ධය දිනපු මහින්ද ජනාධිපතිතුමාටවත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක් ගන්න බැරි වුණා.  ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ටික තවත් වැඩි කරගෙන තුනෙන් දෙකේ බලය හදාගන්න නම් විජාවල් වල් දෙක තුනක් පෙන්වන්න ඕනෑ.

මුලින්ම කළේ රුපියල් ට්‍රිලියනයක් විතර අපිට පාඩු වෙච්ච 2019 බදු කප්පාදුව . එය කලේ බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගේන්න 2/3ට ඕනෑ ඡන්ද ටික හොයන්න.  ඒකෙන් මේ ආර්ථිකය මෙච්චර ඉක්මනට කඩා වැටුණා.  සාමාන්‍ය පෙල අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දුන්නේ බැසිල් මල්ලි වෙනුවෙන්.

ආණ්ඩුවට විශාල වැය බරක් වුණත් දරුවන්ට වුණු සෙතකුත් නෑ.  අවුරුදු තුනකට පස්සේත් රු22,500/- පඩියට අස්ථිර රස්සාවක්. එහෙම වෙලා තියෙන්නේ ඒක මේ රස්සා දීමක් නෙවෙයි ඡන්ද විජ්ජාවක් නිසා. උපාධිධාරින් හැට දහසකට රජයේ රැකියා දුන්නෙත් බැසිල් මල්ලි වෙනුවෙන්.  පෞද්ගලික අංශයේ හොඳ රස්සාවල් කරපු අය අනේ දෙයියනේ ආණ්ඩුවේ රස්සාවක් නේද කියලා ඇවිත් රජයේ රස්සාවට එකතුවෙලා අද අස්ථිර රස්සාවක සොච්චම් වැටුපකට ලොටවනවා.

මේ විජ්ජා වලින් තුනෙන් දෙකේ බලය අරන් 20 සංශෝධනය සම්මත කරලා ඇමෙරිකානුවෙකු විධියටම පාර්ලිමේන්තු ආපු බැසිල් මලයා රටට කෙළ වෙනකොටම  අපි අනාවැකි කිව්ව විදිහටම බඩුමුට්ටු උස්සගෙන ඇමරිකාවට ආපහු ගියා. අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් තිත්ත පාඩමක් ඉගෙන ගත්ත නිසා තමයි අපි ඕකට මුල ඉදන්ම විරුද්ධ උනේ. කුළුදුල් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට තමයි මේක ඉදිරිපත් කළේ. කිරිබත් කාලා පටන් ගත්ත මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම. අපිට එහිදී මෙයට විරුද්ධව කතා කරන්න සිද්ධ වුණේ මේ අනතුර අපි කලින්ම දැක්ක නිසයි. “



Recommended Articles