ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක්


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය ගැන අවධානය යොමුව තිබේ.

මින් එක් නඩුවක් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවියවිසින් ගොනුකර ඇති අතර, අනෙක් නඩුව කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ගොනුකර ඇත.

ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වූ රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත 2019 මාර්තු මස 06 වැනිදා ඇමෙරිකානු රජයට යොමු කර තිබේ. එහෙත් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළේද නැද්ද යන්න ගැන ගෝඨාභය රාපක්ෂ මහතාට මෙතෙක් දැනුම් දීමක් කර නැත.

ඇමෙරිකාව මීට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් විදේශයන් හිදි සිදු කළ හෝ සිදු කළේ යැයි කියන කරුණු සම්බන්බන්ධයෙන් තම පුරවැසියන්ට දඩුවම් දුන් අවස්ථා ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් විරල බව නීති විශාරදයන්ගේ මතයයි.

විදේශයන් හි ඇති ඇමෙරිකානු දේපොළ වලට හානි කළ හෝ ඇමෙරිකානු වැසියන් හානි කළ පුද්ගලයන්ට විරුද්ධව ඇමෙරිකාව ක්‍රියාමාර්ග ගෙන ඇතත් තම රටේ පුරවැසියන් විදේශයන් හි සිදු කරන හෝ සිදු කළා යැයි කියන ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි තීරණවලට එළැඹ නැත. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැත්නම් ඔහුට ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත.

එහෙත් යම් හෙයකින් මාර්තු 06 වැනිදා යොමු කළ අයදුම්පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කර ඇත්නම් ඔහුට මෙම නඩුවේ දී ඇමෙරිකානු පුරවැසියෙකුට ලැබෙන වරප්‍රසාද නොලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අනුව ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කළේද නැද්ද යන්න මත රජපක්ෂ මහතාට එරෙහි නඩුවේ දී රාජපක්ෂ මහතාට ඇති වාසිය තීරණය වනු ඇත.

මෙම නඩු දෙකටම අදාළ නොතීසි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙත ලබාදීමට කැලිෆෝනියා අධිකරණය කටයුතු කර ඇති බවට වාර්තා වුවත් ‌පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ එසේ නොතීසි භාරදීමක් සිදුව නොමැති බවයි.

ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවාඩුවක් ගත කිරීමටමේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට ගොස් ඇති අවස්ථාවක මෙම නඩු ගොනු කිරීමට කටයුතු කර තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙලෙස ඇමෙරිකාවට ගොස් ඇත්තේ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද සඳහන් වෙයි. ඒ ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේ අපේක්‍ෂාවෙනි. දිවිත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා තරග කිරීමට අවස්ථාව නොමැත.

තම පියාගේ ඝාතනයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවත්, ඒ සඳහා වන්දියක්ගෙවන ලෙසත් ඉල්ලමින් අහිම්සා වික්‍රමතුංග මෙනවියඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ අදාළ නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේදී තමන්ට යන නඩු ගාස්තු, නීතිඥ ගාස්තු ඇතුළු ගාස්තුද ඔහුගෙන් අයකර ගන්නා ලෙස නියම කරන ලෙසද සිය නඩුවෙන් ඇය ඉල්ලා ඇත.

මේ අතර, ජාත්‍යන්තර සත්‍ය හා යුක්තියි පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරන්නේ තම සංවිධානයද ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළ බවයි.

දමිළක්‍ රියාකාරිකයෙකු වෙන රෝයි සමධානම් පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ  භාරදී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකිරීමටකැලිෆෝනියා නුවරට පැමිණි බව තම පෞද්ගලික කුලී විමර්ශකයන් දැන ගැනීමෙන් පසු මෙම නඩුව ගොනු කළ බවද ඔවුහු සඳහන් කරති.

මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙකු ලෙස කටයුතු කරන අතර, 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන, 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.

මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සඳහන් කළේ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කිරීම වැළැක්වීමට බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ප්‍රමාද කිරීම වෙනුවෙන් රජය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ලසන්තවික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ දක්වා සැකකරුවෙකු ලෙස හෝ නම් කර නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් වන චෝදනා ඔප්පු කිරීමට සිදුකරනු ලබන විමර්ශන කටයුතු වේගවත් නොකරන්නේ මන්දැයිද ප්‍රශ්න කරයි.

එසේම ඊයේ (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද අදහස් දැක්වීය.ඔහු සඳහන් කළේ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි.

 



Recommended Articles