ගුවන් යානයේද‍ි මුදල් හොරකම් කළ චීන ජාතිකයෙක් අල්ලයි


රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු 05/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .54 හැවිරිදි මොහු , මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය .

05/10 දින රාත්‍රී 08.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහි ගමන් ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමෙරිකානු කතෝලික පූජකවරයකු , ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇයට පරිත්‍යාග කිරිමට මෙම ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල රැගෙන විත් තිබේ .

මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසු , මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල , මෙම චීන ජාතිකයා විසින් සොරා ගෙන තිබේ .

මේ බැව් ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ඒ වනවිටත් , තවත් වෙනත් ගුවන් යානයකින් ඉන්දියාව වෙත යාම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගනිමින් සිට තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් චීන ජාතිකයා සහ ඔහු සන්තකයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් තොගය 05/11 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත , උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102313 වික්‍රමසිංහ යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .



Recommended Articles