ගුවන් මගින් එවු රු.කෝටි 4ක් වටිනා මත්ද්‍රව්‍ය


කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 04 ක් වටිනා " කුෂ් " නැමැති ගංජා තොගයක් , ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින සවස , එම ඇසුරුම විවෘත කර අත්අඩංගුවට ගෙන තිබේ .

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතාගේ ඇරයුමෙන් , මෙම මත්ද්‍රව්‍ය තොගය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීම කටුනායක , සීදුව , කළම්බු කූරියර් ආයතනයේ දී සිදු කෙරුණි .

කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් මෙම ගංජා තොගය විශාල පෙට්ටියක බහා , පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ව්‍යාජ ලලිපිනයකට  මීට සතියකට පමණ පෙර , මෙම කූරියර් ආයතනය වෙත ඇමෙරිකාවේ සිට එවා තිබුණි .

මීට අමතරව ගංජා ඇට අඩංගු ගුවන් තැපැල් පාර්සල් 04 ක් ද නෙදර්ලන්තයේ  සිට මෙම කූරියර් ආයතනයට එවා තිබුණි .

පිළියන්දල , මාතර , ඉංගිරිය , මිනුවන්ගොඩ  යන ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණි.

එම ලිපිනයන්ගේගේ සිට මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණි නිසා , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ලිපිනයන් පිළිබඳව සොයා බලා තිබේ .

එහිදී මෙම පාර්සල් වල සදහන්  ලිපිනයන් සියල්ල ව්‍යාජ ඒවා බව සනාථ වීමෙන් පසුව , මෙසේ එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් තීරණය කර තිබුණි .

ඒ අනුව මෙම කුෂන් පුටුව බහා තිබූ පෙට්ටිය විවෘත කිරීම සිදු වූ අතර , ඒ තුළ කුෂන් පුටුවක් නොතිබුණි .

ඒ වෙනුවට රිජිෆෝම් ඇට තොගයක් පුරවා තිබූ අතර , එම පෙට්ටිය තුළ වූ කුඩා , කළු පැහැති බෑගයක් තුළ රුපියල් කෝටි 04 ක් වටිනා , කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 900 ක් බර  මෙම කුෂ් නැමැති ගංජා තොගය තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීම සිදු විය .

මෙම අතඅඩංගුවට ගැනීම මෙම කූරියර් ආයතනයේ දෛනික රාජකාරී වල නියුතුව සිටින රේගු සහ තක්සේරු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ .

 



Recommended Articles