ගුරු අධ්‍යාපනඥයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි


ගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති උග්‍ර වැටුප් විෂමතාව හා සේවයේ උසස් වීම් ක්‍රියාවලිය තුළ ඇති දැඩි අසාධාරණය ඇතුලු වෘත්තීය ගැටලු සඳහා අධ්‍යාපන ඇමැතිවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පා ගුරු අධ්‍යාපනඥයෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචර්ය වෘත්තීය සංගමය පවසයි.

එහි ලේකම් සංඛ හෙට්‌ටිආරච්චි මහතාගේ හා සහාපති අසිත බස්නායක යන  මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් අධ්‍යාපන ඇමැතිවරියට හා අමාත්‍යාංශ ලේකම්වරයාට  ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.
අධ්‍යාපන සේවයට අයත් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා පත් කළ සුබෝධනී කමිටුව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය නොසලකා හරිමින් ක්‍රියා කිරීම නිසාත් එම කමිටු වාර්තාව පදනම් කරගෙන ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් වැඩි කිරීම නිසා  2022. 01.01 දින සිට මෙම වැටුප් විෂමතාව ඇතිවූ බවත් 2025 අයවැයෙන් එම වැටුප් විෂමතාව තවත් උග්‍ර ව් ඇති බවත් එම සංගමය අවධානය කරයි.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට ඇතුළත්ව සිටින සියලුම ගුරු අධ්‍යාපනඥයින් ගුරු හා විදුහල්පති සේවාවල සිට විධායක සේවාවක් වන ගුරු අධ්‍යාපනඥ සේවයට ඇතුළත්ව සිටින අතර ඔවුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාලය හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කරන අධ්‍යාපනයේ විශේෂඥයෝ වෙති.

සිය වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට අවස්ථා ගණනාවකදීම අධ්‍යාපන ඇමැතිවරිය හා අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කළ ද ඔවුන් නෑසූ කන්ව සිටිමින් මෙරට ගුරු අධ්‍යාපනය ස්වභාවික මරණයකට ඇද දමමින් සිටින බවත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එමගින් දැනුම් දී ඇත.

එළඹෙන 2025.05.30 දිනට පෙර යහපත් ප්‍රතිචාර නොලැබුණ හොත් නැවත නොදන්වා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද එම සංගමය අවධානය කරයි.

මනම්පිටිය නිමල් ජයරත්න



Recommended Articles