මකුල්ගස්වැව හීනුග්ගල ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මකුල්ගස්වැව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනකු අගෝස්තු මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණී මහත්මිය නියෝග කළාය.
මෙම අපරාධය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය මකුල්ගස්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරණු ලැබීය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ හිරානේගම පොලි ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයෙන් (60221) දිසානායක සහ මඩාටුගම පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයෙන් (68455) දිල්ෂාන් යන සැකකරුවන් සහ ගලේවෙල වහකෝට්ටේ ගල්ගොඩයාය අංක 430,ඩී ලිපිනයේ පදිංචි ඩී .චන්න සුරංජිත් මිල්ටන් සහ ගලේවෙල වහකෝට්ටේ කපුකොටුව අංක 231 ලිපිනයේ පදිංචි එම්.ජී.ඩී. රුක්මන් ප්‍රශන්ත විජේරත්න යන සැකකරුවන්ය .
මෙම සැකකරුවන් ගැබ්බර මුවදෙන ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන පතොරම් තුවක්කු තුනක්ද දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.සැකකරුවන් මෙම අපරාධයට යාම සඳහා භාවිතා කළ යතුරුපැදි දෙකක්ද මකුල්ගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවාද නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම මත පොලිස් දෙපාර්තමේන්තු මට්ටමෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා උසස් පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත මෙම මුව දෙන මස් පිණිස ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳවද පොලිස් විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිටිද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව මකුල්ගස්වැව පොලීසිය ප්‍රකාශ කළේය.
මඟුල්ගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ අඩවි වන නිලධාරී ප්‍රශාන්ත විජේකෝන් මහතාගේ උපදෙස් මත තවත් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද.