ගස් නැග පොල් කඩා දරුවන් ජීවත් කරවන මවට පිළිසරණක් වෙමු


දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු  තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
මෙම මාතාව නිලුෂා  සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය  ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.

ඇයගේ සැමියා ප්‍රදීප් සම්පත් අබේකෝන් (35) මහතායි. යුද හමුදාවේ සේවය නියුතුව සිටියදී සිදු වූ වෙඩි වැදීමකින් ආබාධිත තත්ත්වයට පත්වීම නිසා ඔහු මේ වනවිට යුද හමුදාව අතහැර ගොස් සිටියි. 
මෙම දෙපළට මේ වන විට දරුවෝ පස් දෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය නෙත්මි ‍කෞෂ්‍යලා වන අතර ඇය මේ වන විට 12  හැවිරිදි වියේ පසුවෙයි,  සවනි අප්සරා (11), විහඟ ජීවන්ත (06) ඉමේෂා මදුමාලි  (3 ½),  සසිඳු සම්පත් 2  (1/2),  
මොවුන්ගෙන් තිදෙනකු පාසල් වයසේ පසුවන අතර එක් දරුවෙකු පෙරපාසල් වියේ පසුවෙයි.  අනිත් දරුවා තවමත් මවගේ උණුසුම ලබමින් සිටියි.

කුලී වැඩයෙහි යෙදීමට අමතරව ගම්මානයේ පොල් ගස්වලට නැග පොල් කඩා ලබා ගන්නා මුදලින් තමන් වේලක් හැර වේලක් තම දරුවන්ගේ කුස පිරවීම සිදු කරන බව සඳමාලි මහත්මිය  පැවසුවාය. 
 ආබාධිතව සිටින තම සැමියාට නිසියාකාර වැඩක් කර ගැනීමට නොහැකි නිසා ඔහු අවට පදිංචිකරුවන්ගේ සහාය ඇතිව දඹුලු ඔයේ වැලි ගොඩදැමීමට යන බව ඇය පැවසුවාය. එහෙත් මේ දිනවල යුද හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ තම සැමියා යුද හමුදා භාරයට ගෙන රැගෙන ගොස් ඇති නිසා  තමන්ට මේ දිනවල දරුවන් රැකබලා ගැනීමත් කුලී වැඩ කිරීමත් සියල්ල පැවරී  ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
කටුමැටි ගැසූ කුඩා නිවසක කුප්පි ලාම්පු එළියෙන් මෙම දරුවන් සමග වේලක් හැර වේලක්  ආහාර ගෙන සිටින තම දරුවන් පෝෂණය කිරීමට, අධ්‍යාපනය කටයුතුවලට හා ඔවුන්ට ආරක්ෂිත වාසස්ථානයක් ලබා දීමට යම් පරිත්‍යාගශීලියෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය මහත් පින්කමක් බව ඇය පවසා සිටියාය.

තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කර දිය හැකි නම් තමාට තවත්  දරුවන් දායාද කිරීමට ශක්තිය ඇති බව ඇය සතුටින් සඳහන් කළේ මවු සෙනෙහස උතුරා යන දයාවෙනි.
මෙම මවට උපකාරයක් ලබා දිය හැකි අයෙකුට ආර් .එම් .නිලුෂා  සඳමාලි, දඹුලු  හල්මිල්ලෑව, හබරත්තාවල දඹුල්ල යන ලිපිනයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.



Recommended Articles