ගම්පහ රෝහලට පැමිණෙන පිරිස්ගේ මුදල් සොරකම් කිරිමේ ඡාවාරමේ යෙදුණු කතක් අත්අඩංගුවට


ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන රෝගීන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ මුදල් සොරාගත් බව කියන 55 වියැති කාන්තාවක්  අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන  ඇත. 

රෝහලෙහි විදුලි සෝපානයෙන් වාට්ටු සහ ප්‍රතිකාර ඒකක වෙත යන එන රෝගීන් සහ රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ මුදල් පසුම්බි නැතිවීම දිගු කලෙක පටන් සිදුව ඇති බැවින් මේ පිළිබඳව විමසිල්ලෙන් බලා සිටි රෝහලෙහි ආරක්ෂක නිලධාරිනියක් විසින් මෙම කාන්තාව කොටුකර ගැනීමට සමත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 

රෝගීන් සහ රෝගීන් බැලීමට එන තැනැත්තන් විදුලි සෝපානයෙන් ගමන් ගැනීමේදී අධික ලෙස තෙරපෙන අවස්ථාවන් බලා සිට මුදල් සොරා ගැනීම සිදු කොට ඇති බව හෙළිව ඇත. 

මෙම තැනැත්තිය ගම්පහ පොලීසියට බාරදීමට පියවර ගෙන ඇති අතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ ඇය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවය.



Recommended Articles