ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයන් 400කට ප්‍රතිකාර නැහැ


ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව , ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව අද දින  ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ , වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී ඇති බව ද වෛද්‍ය ආරියරත්න මහතා පැවසීය.

එසේම මේ වනවිට දින ගණනාවක සිට  කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන 40 ක පමණ පිරිසක් ද පී.සී.ආර්.පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත බව තහවුරු වී , ප්‍රතිකාර සදහා යොමු කරන තෙක් , සිය නේවාසිකාගාර වලම රැදී සිටිති .

එමෙන්ම අද දින ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන තවත් සේවකයින්  29 දෙනෙකු ද  කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටිති  .

ඒ අනුව මේ දක්වා මෙම කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,369 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගෙන තිබේ .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 6,866 ක ප්‍රතිඵල වාර්තා මේ වනතුරු ලැබී නොමැති බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles