කෝටි 8ක කොකේන් ගිල පැමිණි ගිනී කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි


රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි ගිනි ජාතික කාන්තාවන් දෙදෙනෙකු 04/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

40 හැවිරිදි සහ 42 හැවිරිදි මෙම ගිනි ජාතික කාන්තාවන් දෙදෙනා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උපත් පාළන කොපු තුළ බහා , තවදුරටත් කාන්දු වීමක් සිදු වුවහොත් එය වැලැක්වීම සදහා සෙලෝ ටේප් යොදා , ග්‍රෑම් 15 ක් පමණ බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි සකස් කර , එක් අයෙකු මෙම ගුළි 75 බැගින් ගිල දමා පැමිණ ඇති බව , කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිලෝකන යන්ත්‍රය (Scan) වෙත වාර්තා වී තිබේ .

මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මුළින්ම සියරාලියෝන් වලින් ගමන් ආරම්භ කර තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පැමිණ තිබේ . ඉන්පසුව එතැන් සිට 04/20 දින උදෑසන 06.00 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම 2024 වසර තුළ කොකේන් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් තුන් වන අවස්ථාව මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මෙම කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගිල දමා පැමිණි  රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ග්‍රෑම් 500 පමණ බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 40 ක් පමණ පිටතට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් ගිනි ජාතික කාන්තාවන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

ඔවුන් මේ පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර මෙම කාන්තාවන් දෙදෙනා ගිල දමා පැමිණි ඉතිරි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා  මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටිති .



Recommended Articles